May 05, 2024

පළමු ඡන්ද ප‍්‍රතිඵලය හෙට දහවල් - සමස්ත ප‍්‍රතිඵලය හෙට මධ්‍යම රාති‍්‍රයේ Featured

අභිනව නවවැනි පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් 196 දෙනකු තෝරා පත් කර ගැනීමේ 2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 7.00 ආරම්භ විය.
 
නව මන්තී‍්‍රවරුන් 196 දෙනා තෝරා ගැනීමට දේශපාලන පක්ෂ 28 කින් හා ස්වාධීන කණ්ඩායම් 313 කින් අපේක්ෂකයන් 7452 දෙනකු තරග කරනු ලැබීය. ඡන්ද ප‍්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 16,263,885 දෙනකු සුදුසුකම් ලබා ඇති අතර රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඔවුන් ඡන්ද ප‍්‍රකාශ කිරීමට නියමිතය.
 
 එම මධ්‍යස්ථාන අතර ඡන්ද 2400 ට වැඩි මධ්‍යස්ථාන 53 ක් හා ඡන්ද 1200 ත් 1600 ත් අතර මධ්‍යස්ථාන 4055 ක් වෙයි. වැඩිම ඡන්ද මධ්‍යස්ථාන ප‍්‍රමාණයක් පාසල් 8000 ක පිහිටුවීම ද විශේෂත්වයකි.
 
ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර ජංගම ආරක්ෂක සංචාර 3069 ක් සිදු කරනු ලබයි. සියලූ ආරක්ෂක කටයුතුවලට පොලිස් නිලධාරීන් 69000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.
 
ඉකුත් මැතිවරණවලට සාපේක්ෂව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මෙවර ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබයි. එනම් ඡන්ද මධ්‍යස්ථානයට පිවිසෙන ඡන්දදායකයන් අවස්ථා තුනකදී දෑත් පිරිසිදු කිරීමට ලක් කරන අතර ඡන්ද සලකුණු කුටිය හා මධ්‍යස්ථානය වරින් වර විෂබීජහරණයට ලක් කරන බව මැතිවරණ කොමිසම පවසයි.
 
ඡන්ද සලකුණු කිරීම පස්වරු 5.00 ට අවසන් කිරීමෙන් පසුව ආරක්ෂිත ලෙස ඡන්ද පෙට්ටි මුද්‍රා තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට නියමිතය.

ඡන්ද ගණන් කිරීම හෙට (06) පෙරවරු 8.00 ට ආරම්භ වෙයි. ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 2367 කදී සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 444 කදී සිදු කිරීමට නියමිතය.

ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය හෙට දහවල් වනවිටත් ආසන මට්ටමින් පළමු ඡන්ද ප‍්‍රතිඵලය සවස්වරුව වනවිටත් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

සමස්ත ඡන්ද ප‍්‍රතිඵල මධ්‍යම රාති‍්‍රය වනවිට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසම විශ්වාස කරයි.

Last modified on Wednesday, 05 August 2020 10:23