April 26, 2024

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි - පළමු නිල ඡන්ද ප‍්‍රතිඵලය පස්වරු 2.30න් පසු Featured

මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව පස්වරු 2.30න් පසු මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු අද උදෑසන 7ට ආරම්භ කෙරුණු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

දහවල් 12 පමණ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේද ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.  

ප්‍රදේශයට මේ වනවිට වර්ෂාවෙන් යම් බලපෑමක් එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් මැතිවරණ නිලධාරීන් පැමිණීමේදී බාධා මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු නිසි පරිදි අඛන්ඩව සිදුකරමින් පවතින බවද මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

ඊයේ පස්වරු පහට ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අවසන් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේය.

මීට පෙර මැතිවරණවලදී සිදුවූ පරිදි මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිදුවූයේ නැහැ.

ඊයේ පස්වරු 5 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ඒ ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ආරම්භ විය.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීමල දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන මධ්‍යස්ථාන 77 කදී සිදුකෙරේ.

වැඩිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති අතර එම සංඛ්‍යාව 07ක්.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථන 4 ක් ස්ථාපනය කර තිබෙන අතර ඒ කොළඹ රාජකීය, ඩී.එස්. සේනානායක, ඉසිපතන සහ තර්ස්ටන් යන විද්‍යාල තුළයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එනු ලැබූ ඡන්ද පෙට්ටි අවසරලත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ඉදිරියේ තවත් බහාලුමක සීල් තබා ආරක්ෂිතව තැන්පත් කර තිබිණි.

සියයට 71 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවූ මෙවර මහ මැතිවරණයේදී එක්කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිසම පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම ඊයේ(05) පස්වරු 05.00ට අවසන් විය.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්කර යැවීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි හැට දෙලක්ෂ 63,885 දෙනෙකු ඊයේ පැවති මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර,එක්කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඉන් ලක්ෂ 7 කට ආසන්න සංඛ්‍යාවක් තැපැල් ඡන්ද බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

අපේක්ෂකයින් 7452 ක් මෙවර මහමැතිවරණයට තරඟ වැදුණු අතර, ඉන් 3652 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ හරහා තරඟ කළේය.

ස්වාධීන කණ්ඩායම් හරහා මැතිවරණයට තරඟ වැදුණු සංඛ්‍යාව සටහන් වුණේ 3800ක් ලෙසයි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඊයේ මැතිවරණය පැවති අතර, ඒ අනුව සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71ක් වූ බව මැතිවරණ කොමිමේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අතින් වැඩිම ප්‍රතිශතයක් සටහන්ව තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේයි.

එම ප්‍රතිශතය සියයට 75 ක්. අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 63 ක් වූ අතර එම ප්‍රතිශතය වාර්තාවුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

මේ අතර මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සමස්ථයක් ලෙස කිසිදු ගැටළුවකින් තොරව පැවති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර "රට හදන තැන හදන - ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2020" - නිල ඡන්ද ප්‍රතිඵල ලැබුණු සැණින් එසැණින් ගෙන ඒමට ඒෂියන් මිරර් අප සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව මෙවරත් ඒෂියන් මිරර් මැතිවරණ විකාශය Facebook සහ Youtube තුළින් සජිවීව බලාපොරොත්තු වන්න.

Last modified on Thursday, 06 August 2020 09:14