April 19, 2024

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ‘යහපුරුද්දෙන් සුව පැවැත්මක්’ සංයුක්ත තැටිය සියලු පාසල්වලට

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ සමස්ත පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මඟපෙන්වීම්වලට අනුගතව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමඟාමීව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් 'යහපුරුද්දෙන් සුව පැවැත්මක්' නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීම සඳහා නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාර දීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මෙම සංයුක්ත තැටි සෑම පාසලකට ම ලබාදීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අනුග්‍රාහක දායකත්වයෙන් නිෂ්පාදනය කර ඇති මෙම සංයුක්ත තැටි අගෝස්තු 10 වැනි දා සිට පාසල් ආරම්භ වීමෙන් පසු රට පුරා සියලු පාසල් වෙත ලබාදීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව මෙම සංයුක්ත තැටිය මඟින් ලබා දී ඇති උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් හෝ සංයුක්ත තැටියේ සඳහන් වන තීරු කේතය (Barcode) පරිශීලනයෙන් youtube වෙතින් ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෙබ් අඩවියෙන් ද ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා- කොවිඩ් 19 සම්බන්ධ කාරණයේදී පාසල් නැවත ආරම්භ වීමට පෙර සිට ම පාසල්වල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කළා. මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව සෞඛ්‍ය නිර්දේශ යටතේ මේ සඳහා උපදෙස් මාලාවක් සකස් කළා. එය චක්‍රලේඛයක් ලෙස පාසල් වෙත නිකුත් කළා. එම උපදෙස් මාලාව සංයුක්ත තැටියක් මඟින් නිකුත් කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සහාය ලැබුණා. එම සංයුක්ත තැටිය අද දිනයේ නිකුත් කරනවා. ඒ අනුව සියලු ම පාසල්වලට සහ පළාත්වලට මුද්‍රිත මාධ්‍යයෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කළා. ඕනෑම අයකුට එම උපදෙස් මාලාව කියවිය හැකි පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ද එය පළ කර තිබෙනවා. අපි මේ දක්වා පාසල් පවත්වාගෙන ආවේ මේ උපදෙස් අනුවයි. අගෝස්තු 10 දිනෙන් පසු අපි පාසල්වල අනෙකුත් පන්ති විවෘත කරන්නේ ද එම සෞඛ්‍ය නිර්දේශ අනුවයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා- අප තවමත් සිටින්නේ කොරෝනා සම්පූර්ණයෙන් තුරන් නොවුණු සමාජයකයි. ඒ නිසා තමයි දිගින් දිගට ම පාසල් ආරම්භ වීම ප්‍රමාද වුණේ. අපි එහි යම්කිසි කඩඉමකට පැමිණ තිබෙනවා. පාසල් විවෘත කිරීම සහ විභාග පැවැත්වීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ දරුවන්ට ඔවුන්ට තේරෙන භාෂාවකින් කොරෝනාවලින් ආරක්ෂාවීම පිළිබඳ උපදෙස් සහිත සී.ඩී. තැටියක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ අනුග්‍රාහකත්වය ලබා දුන්නා. නමුත් අප මෙය කරන්නේ සමාජ සත්කාරයක් වශයෙන් පමණයි. දරුවන්ට උපරිම ආරක්ෂාව සැලසීම තමයි මෙමඟින් අපේක්ෂා කරන්නේ.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ද සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)