April 27, 2024

මහ මැතිවරණය අදයි - 225න් කෙනෙක් වෙන්න 7,452ක් තරග බිමේ

ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන මහ මැතිවරණය රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී අද (05) පැවැත්වේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් මෙවර ඡන්ද දායකයන් 16,263,885 දෙනකු සුදුසුකම් ලබා සිටින අතර, වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව වන 1,785,964ක පිරිස ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරයි.මැතිවරණ දිස්ත්‍රික්ක 22 තුළ පවත්වනු ලබන මහ මැතිවරණයේ දී ජනතා ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙන අතර, ඒ ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමි වන ප්‍රසාද මන්ත්‍රි ධුර සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තුවෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරු ගණන 29කි.

පිළිගත් දේශපාලන පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313කට අයත් අපේක්ෂක අපේක්ෂිකාවෝ 7,452 දෙනකු මෙවර මහ මැතිවරණය සඳහා තරග වැඳී සිටින අතර, 2020 මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 16,263,885 දෙනකු සුදුසුකම් ලබා සිටිති. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා පත්‍ර 304ක් සහ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා පත්‍ර 313ක් ඉදිරිපත් කර තිබෙන අතර, ඒ අනුව රටේ සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකින්ම පිළිගත් දේශපාලන පක්ෂ සඳහා අපේක්ෂකයන් 3652 දෙනකු සහ ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් අපේක්ෂකයන් 3,800 දෙනකු තරග කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක් මැතිවරණ දිස්ත්‍රික්ක වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය යාපනය දිස්ත්‍රික්කය හැර අනෙකුත් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම තරග කිරීම විශේෂත්වයකි.

ඡන්ද විමසීම පෙරවරු 7. 00ට ආරම්භ වූ අතර පස්වරු 5. 00ට අවසන්වීමට නියමිතව තිබේ. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නිර්දේශ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි. ඒ අනුව පස්වරු 4. 00ත් 5. 00ත් අතර කාලයේ දී ස්වයං නිරෝධායනය වෙමින් සිටින ඡන්ද දායකයන් සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196ක් වන අතර, කොළඹ 19, ගම්පහ 18, කළුතර 10, මහනුවර 12, මාතලේ 05, නුවරඑළිය 08, ගාල්ල 09, මාතර 07, හම්බන්තොට 07, යාපනය 07, වන්නි 06, මඩකලපුව 05, දිගාමඩුල්ල 07, ත්‍රිකුණාමලය 04, කුරුණෑගල 15, පුත්තලම 08, අනුරාධපුරය 09, පොලොන්නරුව 05, බදුල්ල 09, මොණරාගල 06, රත්නපුරය 11, කෑගල්ල 09 ආදී වශයෙන් තෝරා පත්කර ගැනීමට නියමිතයි.

මෙවර වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, පිළිගත් දේශපාලන පක්ෂවලින් 352 දෙනකු සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් 572 දෙනකු ඒ අතර වෙති. අවම අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත්ව සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 152කි. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර, ඒ අනුව රට පුරා ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ස්ථාපිත කර තිබේ.

මෙවර මැතිවරණයේ රාජකාරි කටයුතු වෙනුවෙන් ලක්ෂ තුනකට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා සිටින අතර, ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජිතයන් 65,000ක් පමණ රාජකාරියේ යෙදී සිටිති.

ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරු 7. 00ට සහ 8. 00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර, සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයන් ඉදිරිපත් කළ හැකිය. මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව එක් එක් අදියර යටතේ නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මීට අමතරව ඡන්ද පෙට්ටි රැගෙන යෑම, මුද්‍රා තැබීම, ඡන්දය පැවැත්වෙන දිනයේ රාත්‍රි කාලයේ නිරීක්ෂණය කිරීම ආදිය සඳහා ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර ඇති වූ එකඟතාව මත නියෝජිතයන් පත් කළ හැකි බවද මැතිවරණ කොමිසම කියයි.

Rate this item
(0 votes)